මෙරට විශාලතම සිමෙන්ති කම්හල හම්බන්තොටදී විවෘත වේ
Posted 10,March

By Uditha Navaratne

In Local News

Listen to the Article

No Audio File Selected/Uploaded

 189 views

මාගම්පුර ලංකා කර්මාන්ත කලාපයේ පිහිටි දිවයිනේ විශාලතම සිමෙන්ති කම්හල වන සීමාසහිත ලංවා සංස්ථා සිමෙන්ති සංස්ථාවේ සිමෙන්ති නිෂ්පාදනාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් පසුගියදා විවෘත කෙරිණි.

එම ස්ථානයට පැමිණි දෙදෙනා විසින්ම යෝජිත නව වානේ කම්හල සඳහා ද මුල්ගල තැබූහ. අක්කර 250ක භූමි භාගයක ඉදිකෙරෙන නව වානේ කම්හල සඳහා ආයෝජනය ඩොලර් මිලියන 400කි. නිෂ්පාදන ක්‍රියාවලිය 2024 අග භාගයේදී ආරම්භ කිරීමට නියමිතය.

නව සිමෙන්ති කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා කර්මාන්තශාලා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

2020 මාර්තු මාසයේදී ඉදිකිරීම් ආරම්භ කළ සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනය ඩොලර් මිලියන 100 කි. අක්කර 63 ක වපසරියකින් යුක්ත එය දකුණු ආසියානු කලාපයේ විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාවකි. කර්මාන්ත ශාලාවේ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 4ක් වන අතර පළමු අදියර යටතේ මෙට්‍රික් ටොන් මිලියන 2.8ක් දේශීය වෙළෙඳපොළට සපයන බව කළමනාකාරිත්වය පවසයි.

ඉහළ කාර්යක්ෂමතාවයක් සහතික කිරීම සහ අපද්‍රව්‍ය හා දූෂණය අවම කිරීමේ අරමුණින් වරාය සහ කර්මාන්තශාලාව අතර අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා වාහක පටි (Conveyor belts) භාවිතා කරනු ලබන අතර කර්මාන්තශාලාවේ සම්පුර්ණයෙන්ම ස්වයංක්‍රීය Stacker Reclaimer Yard සහ Bridge-type Ship Unloader ඇත. ජාත්‍යන්තර ප්‍රවණතාවලට අනුකූලව ශ්‍රමය වෙනුවට තාක්ෂණය භාවිත කරමින් භාණ්ඩ හැසිරවීමට මෙමගින් හැකියාව ලැබේ.

සීමාසහිත ලංවා සංස්ථා සිමෙන්ති කම්හල සාමාන්‍ය පෝට්ලන්ඩ්, පෝට්ලන්ඩ් සංයුක්ත සහ මිශ්‍ර හයිඩ්‍රොලික් (ordinary Portland, Portland composite and blended hydraulics)  ඇතුළු සියලුම සිමෙන්ති වර්ග නිෂ්පාදනය කිරීමට ද සැලසුම් කර ඇත.